සීගිරියේ සංස්කෘතිකමය වැදගත්කම

 



කාෂ්‍යප රාජ්‍ය කාලයට පෙර විසූ මහසෙන් රජුගේ කාලයේ ද (ක්‍රි.ව.274-301), කිත්සිරිමෙවන් රජුගේ කාලයේ ද (ක්‍රි.ව.301-328) සීගිරියට ආසන්න ප්‍රදේශවල වැව් සහ සංඝාරාම නිර්මාණය කිරීම වැනි කාර්යයන් සිදු වූ බවට ඇති සාධක නිසා පූර්ව කාෂ්‍යප අවධියේ දී සීගිරි ප්‍රදේශය අරාජිකත්වයට පත්ව තිබුණේයැයි විශ්වාස කළ නොහැකිය. 


නමුත් සීගිරිය යන නමින් මෙම ප්‍රදේශය හඳුන්වන්නට පටන් ගත්තේ පළමුවන කාෂ්‍යප රජුගේ අගනුවර බවට පත් වීමත් සමඟ ය. 1982 ජනවාරි 08 වනදා ආයතන කීපයක ම දායකත්වය ඇතිව සංස්කෘතික ත්‍රිකෝණ වැඩකටයුතු ආරම්භ කරන ලදි. විශේෂයෙන් ම විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යා කණ්ඩායම් එකතු කර ගැනීම සහ තරුණ පුරාවිද්‍යාඥයින්ට එම කටයුතුවලට දායක වීමට ඉඩ ලබා දීම ද මේ කාලය තුළ කැපී පෙනිණි. 


කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ පීඨ සාමාජිකයන් වෙත සීගිරියේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂණය හිමි විය.ඊට අමතරව වාස්තු විද්‍යාත්මක කටයුතු සඳහා තවත් කණ්ඩායම්, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කැළෑ දෙපාර්තමේන්තුව ආදියෙහි සහයෝගය ද ලබා ගැනීමට කටයුතු කර ඇත. 1986න් පසුව සීගිරි ප්‍රදේශයේ ජනාවාස පුරාවිද්‍යාව නමින් ආරම්භ කළ සහයෝගීතා ව්‍යාපෘතියට අනුව එතෙක් සීගිරියේ කළ පර්යේෂණවලින් හෙළි නොවූ බොහෝ තොරතුරු හෙළිදරව් කර ලැනීමට හැකි විය. විශේෂයෙන් ම සීගිරිය අවට ප්‍රදේශයේ කරන ලද මේ පර්යේෂණ සීගිරි ඉතිහාසය තවත් ශක්තිමත් කිරීමට පදනම විය. සංස්කෘතික ත්‍රිකෝණය බිහි වීමෙන් පසු ලෝක උරුම නගරයක් බවට පත් වූ සීගිරිය ලෝකයාගේ අවධානයට ද නිරන්තරයෙන් ලක් වන්නට විය. 


මෙම සිද්ධි එකිනෙක ගළපා බලන විට සීගිරිය සංස්කෘතිකමය වශයෙන් අතිශය වැදගත්කමක් උසුලන බව පැහැදිලිවේ. අදවන විටත් අතිශය සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ස්ථානයක් බවට සීගිරිය පත්ව ඇත්තේ එබැවිනි. එය තවදුරටත් පැහැදිලි කරගන්නා විට ඊ.බී.ටයිලර් පෙන්වා දෙන පරිදි “සංස්කෘතිය යනු සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත්,පරිණතවූත් දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියළු ම හැකියාවන්වල සංකීර්ණ සමස්තයයි”. ඒ අනුව ක්‍රි.ව.04 -05 සියවස්වල පැවති මෙකී සංස්කෘතික සාධක හඳුනා ගැනීමෙහිලා සීගිරිය අතිශය වැදගත් වේ. සරලවම පැවසුවහොත් සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක් ලෙස දැක්වීම සාවද්‍ය නොවේ.

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post