සීගිරි බිතු සිතුවම් 03

 


සීගිරි චිත්‍ර පිළිබඳ ඉදිරිපත් වී ඇති මත


01.එච්.සී.පී.බෙල් මහතාගේ මතය:

මෙම චිත්‍ර ලෙන්වලින් දැක්වෙන්නේ රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් ය.ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වන්දනයට යන බව කියයි. වින්ස්ටන් ස්මිත් මහතා ද මෙම මතය අනුමත කර ඇත.


02.ආනන්ද කුමාරස්වාමිගේ මතය:

සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන හෙයින් මෙන් ම, වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට ඇති බැවින් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බවත් දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වැස්සවීම සිදුකරන බවයි.


03.නන්දදේව විජේසේකර මහතාගේ මතය:

"රජුගෙ ඇතවුරෙන් අපි නොයමුයි හඟිමින් ඔවුහු සිටිති."යන කැටපත් පවුරෙහි ඇති කුරුටු ගීයකට අනුව ස්වකීය වල්ලභයා වූ කාශ්‍යප රජුගේ වියෝවෙන් ශෝකයට පත්වන ඔහුගේ අන්තඃපුර කතුන් නිර්මාණය කෙරෙන බවයි.


04.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතය:

මෙම චිත්‍රවලින් දැක්වෙන්නේ දිය කෙළියක් බව ඔහු කියයි.


05.මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය:

රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්, නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බව ඔහුගේ මතයයි


06.සිරි ගුනසිංහගේ මතය:

2010 වසරේ පළ කෙරුණු Sigiriya: Kassapa’s Homage to Beauty නමැති කෘතිය තුළ කලා ඉතිහාසඥ සිරි ගුනසිංහ තර්ක කළේ සීගිරිය හුදෙක් සෞන්දර්යය වින්දනය කිරීම සඳහා වූ විවේකස්ථානයක් වශයෙන් කාශ්‍යප රජු විසින් ඉදි කරනු ලැබූ බව යි. ඒ අනුව සීගිරි සිතුවම්වල දැක්වෙන කාන්තාවන් හුදෙක් සුන්දරත්වය අරමුණු කරගෙන සිතුවමට නැඟුණු සාමාන්‍ය ස්ත්‍රී රූප බවත් ඒවායේ වෙනත් සංකේතාත්මක හෝ ආගමික අර්ථයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් තර්ක කරයි

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post